ආරාමයේ ජීවිතය

භික්ෂු ජීවිතය


Image

පැවිදි දිවිය අභියෝගාත්මක නමුත් මහත්ඵල ප්‍රතිලාභ ගෙන දෙන ජීවිතයක් ලෙස සැලකිය හැකිය. ලොව් තුරා තථාගතයන් වහන්සේගේ ගමන් මග යන භික්ෂූන් වහන්සේලා තම මුළු ජීවිතයම කැප කරන්නේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහාය. භාවනාව, දහම් අධ්‍යනය සහ තම අත්දැකීම් හා අවබෝධය තුලින් ලෝක සත්වයාට සේවය කිරීම සුපේක්ෂල  ශික්ෂාකාමී  භික්ෂුවකගේ දිවි පැවැත්ම වේ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ  වන්නේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කර එය ධර්මාවබෝධය පිණිස ව්‍යාප්ත කිරීමයි. භික්ෂුව, බාහිර ලෝකයේ අනේකවිද බාධා කිරීම් සහ පෙළඹවීම්වලින් මිදී සරල හා විනයගරුක ජීවිතයක් ගත කරයි.

භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේ විසින් අනු දැන වදාළ ක්‍රමවේදයට අනූව ක්‍රමානුකුලව සකසාගත් දෛනික දින චර්යාවක් අනුගමනය කරති. ධර්මය සාකච්ඡා කිරීම සඳහා වේලාසනින් අවදි වීම, බුද්ධ පූජාවට සහභාගි වීම, භාවනා කිරීම, බෞද්ධ ග්‍රන්ථ අධ්‍යයනය කිරීම සහ අනෙකුත් ශාසනික කාර්යයන් ඉටු කිරීම මීට ඇතුළත් වේ. උත්තරීතර ශ්‍රී සම්බුද්ධ ශාසනයක පිහිට පතන පුද්ගලයන් නිවැරදි මගට යොමු කිරීම සඳහා ධර්මදේශනා පැවැත්වීමෙන් සහ උපදේශන සේවා පිරිනැමීමෙන් භික්ෂූන්වහන්සේලා සමස්ත ප්‍රජාවට ඉමහත් සේවාවක් සපයයි. අභියෝග මධ්‍යයේ වුවද, දහමින් පෝෂිත තම ජීවන රටාවේ ඇති සරල හා සැහැල්ලු බව නිසා විදින තෘප්තිය භික්ෂුවකට අන් කිසිදු තැනකදී අත්විදීමට නොලැබේ.

අනගාරික ජීවිතය


ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය අතර සංක්‍රාන්ති සමයක් ලෙස අනගාරික ජීවිතය දැකිය හැකිය. අනගාරිකයන් සරල ජීවිතයක් ගත කිරීමටත් බුදුදහමේ ගමන් කිරීමටත් දිවි කැප කර ඇතත් තවමත් සම්පූර්ණ පැවිදි බව ලබා නැත.

අනගාරික මහතුන් බොහෝ විට සාම්ප්‍රදායික සුදු ඇඳුමෙන් සැරසී මහා සංඝරත්නයේ නිරන්තර රැකවරණය හා මඟපෙන්වීම යටතේ ආරාමයේ වාසය කරති. ඔවුන් පැවිදි ස්වාමීන් වහන්සේලා සමඟ දිනපතා බෞද්ධ වත්පිලිවෙන් පුරයි. එනම් ධර්මය සාකච්ඡා කිරීම, භාවනා කිරීම, සජ්ඣායනා කිරීම සහ ආරාමයේ දෛනික ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය කටයුතු ඔවුන් අතින් සිදුවේ. තවද ආරාමයට අනුබද්ධිත ජාත්‍යන්තර පාසලේ බෞද්ධ ඉගැන්වීම් උගන්වමින් සහ ඉගෙන ගනිමින් අන් අයගේ සුභසිද්ධිය උදෙසා ද කටයුතු කරයි. සිත් ගිනි නිවීම සඳහා උපදේශන සේවා ලබා දීමෙන්ද  තමන් ලද සුවය අන් අයට ලබා දීමට ඉඩහසර ලබා ගනියි.

බොහෝ අනගාරික මහතුන් සඳහා, මෙම කාලපරිචය පැවිදි ජීවන රටාවට සම්පූර්ණයෙන්ම කැපවීම සදහා සූදානම් වීමට වන කාලයයි.

Image

අනගාරිකා ජීවිතය


Image

අනගාරිකාවක් යනු ස්ත්‍රියක් හා බැඳුණු සියලු ආකාරයේ සාම්ප්‍රදායික මතිමතාන්තර සහ චිත්ත ඒකාකෘතිවලින් මිදී සරල ජීවිතයක් ගත කිරීමට අදිටන් කරගත් නමුත් තවමත් භික්ෂුණියක් ලෙස සම්පූර්ණයෙන් පැවිදි වී නොමැති කාන්තාවකි.

අනගාරිකාවන්  බොහෝ විට සුදු හෝ ලා පැහැති ඇඳුමින් සැරසී සිටින අතර ආරාමය අසල පිහිටි ගොඩනැගිල්ලක වාසය කරයි. ඔවුහු භාවනා කිරීම, බුද්ධ පූජාවට සහභාගී වීම, සජ්ඣායනා කිරීම සහ බෞද්ධ ඉගැන්වීම් අධ්‍යයනය කිරීම වැනි පැවිදි දිවිය හා බැඳුනු වත්පිළිවෙත් පුරන අතරම දෛනික කටයුතුවලට සහභාගී වීම සඳහා සෑම උදෑසනකම ආරාමයට පැමිණෙයි. මෑත භාගයේදී කාන්තාවන් මුහුණ දෙන මානසික අවපීඩනය, ඇබ්බැහිවීම් සහ පවුල් ප්‍රශ්න වැනි විවිධ මනෝවිද්‍යාත්මක කාරණා සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමෙන් සමස්ත වනිතා ප්‍රජාවට මිල කළ නොහැකි සේවාවක් සපයයි. එය ලෞකික බැඳීම් අතහැර අධ්‍යාත්මික සුවසහනය උදෙසා කටයුතු කරන ඔවුනට අභියෝගාත්මක කාරණාවන් වුවද එය නිවන් මඟ ගමන් කිරීමට අත්වැලක්ද සපයයි.