දහම් වැඩසටහන්

අප ආරාමය විසින් පවත්වනු ලබන ඉතා සියුම් හා ගැඹුරු සද්ධර්ම දේශනා ශ්‍රවනයෙන් තම ජීවිත  ඇදහිය නොහැකි ලෙස වෙනස් වන බව දිවයින පුරා සිටින අපගේ නිත්‍ය නරඹන්නන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ අපගේ වැඩසටහන්වලට සුසර කරන ලොව පුරා මිලියන 1 කට අධික ග්‍රාහකයින් තහවුරු කරයි.

යූ ටියුබ්( youtube), ෆේස්බුක් (Facebook), ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ පොඩ්කාස්ට් (Podcast) හරහා ලබා ගත හැකි, ඉංග්‍රීසි, සිංහල, දෙමළ සහ හින්දි බසින් විකාශනය වන අපගේ බහුභාෂා ධර්ම දේශනා,  ගෝලීය ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ඇත. අපි දැනට කොරියානු, ස්පාඤ්ඤ, ජර්මන්, ජපන්, සහ මැන්ඩරින් වැනි අමතර භාෂා ප්‍රගුණ කිරීමට කටයුතු කරමින් සිටින අතර  නුදුරු අනාගතයේ දී ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේම මව් භාෂාවෙන් සද්ධර්ම දේශනා ශ්‍රවණයට කිරීමට හැකිවන වටපරිසරයක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටිමු.

Dhammahall

නිවන් මග විවරකොට සදහම් දිය ඉසිනුවස්  සෑම සෙනසුරාදා දිනකම උදැසන 7.00 සිට සවස 7.00  දක්වා පැවැත්වෙන සීල වැඩසටහන හුදෙක් නිවන් අවබෝධය උදෙසාම වෙන් වූවකි. පිංවන්ත ඔබට නිවන් මග ඇරඹුමේ සිට අඩියට අඩිය තබා අරිහත් කිරුළු පැළඳීම දක්වා අවැසි සියලු ගුරුහරුකම් ලැබෙන පරිදි ක්‍රමානුකූලව පෙළගස්වන ලද වැඩසටහන් මාලාවට සහසම්බන්ධ වී අධ්‍යාත්මික සුවය උදෙසා වෙර වීර්‍ය වැඩීම ඇරඹීමට කාලයයි මේ. දීපයයි මේ. දේශයයි මේ උදා වී තිබෙනුයේ.

ගිහි වතේ සිට ශාසනයක් හා සම්බන්ධ වී ශාසනික ප්‍රතිපදාවන්ට අනුගතව ජීවිත හැඩගස්වා ගනිමින් ඒ උදෙසා කාලය ශ්‍රමය ධනය සියල්ල කැපකර කටයුතු කරන්නට සිත් පහළවුණු ඔබේ පිනට තථාගත ශාසනයෙන් ලැබෙන දායාදය වූ  "සාටකය" ගත දරා ගන්නට තරම් ඔබ මහා පුන්‍යවන්ත වී ඇත. ආඩම්බර ලීලාවෙන් තථාගත ශ්‍රාවක තනතුර ලද ඔබට, කිසිදු වයස් බේදයකින් තොරව අශ්ඨාංග උපෝසත සීලය සමාදන් වී පුරන්නට ඇති සීල පාරමිතාවන් තව තවත් බල නංවා ගනිමින් ඇරඹෙන මේ පුණ්‍යවන්ත දිනය ට තව තවත් අරුත් එක්කරමින්, ලෞකිකත්වයෙන් ඔබ්බට ලගා වන්නා වූ ඒ ලෝකෝත්තර සුවය, ගිනිගත් හදවත් සදහම් දියෙන් තෙමාලමින් ඒ සැබෑ සිසිලස ඒ හදවත් තුලට කැන්දමින් සිදු කෙරෙන  උදෑසන සදහම් දේශනය, දහවල් ධම්මපද ගාථා සජ්ජායනය, සවස ගුරු හිමිගේ මහ දේශනාව සහ අවසානයේ සියලු සංසාර ගනුදෙනු පියවෙමින් සතර වරිගයම පිණෙන් පුරවාලමින් සිදු කෙරෙන පුන්‍යාණුමෝදනාව සහ පිරිත් සජ්ජායනාව යන අංගයන් හා එක්ව කටයුතු සිදු කරන්නට ඔබට හැකියාව ඇත.

එමෙන් ම දවසේ වැඩසටහන් මාලාවේ තවත් එක් අති සුවිශේෂී අංගයකි. එනම්, අනුභවකරන්නට අතට ගත් දන්පතෙන් හෝ අනුභවකරන්නට මුව වෙතට ළගාවන අවසාන බත්පිඩ එසේ නැතිනම් තිබහට ලැබුණු එකම දිය පොද, පිඩුසිගා වඩින ඒ ආර්‍ය උතුමන්වහනසේලා හට මහා චිත්තප්‍රසාදයෙන් දන් දී සාසන දායාදය ලැබූවන් පිළිබද ඔබ අසා ඇත්තේය. එවන් වූ ශ්‍රී සම්බුද්ධ ශාසනය මේ මිහිමඩල මත ඒ ආකාරයෙන්ම අද ද පවතින බවට සාක්ශි දරමින්, දෙවුර පොරවා, පාත්‍රාවන් සුරතින් දරාගෙන ශාන්ත ලීලාවෙන් ඇතුල් ගමේ දන් වැට වෙත පිණ්ඩපාතය වඩින ඒ සිල්වන්ත ගුණවන්ත පුන්‍යක්ශේත්‍රයක් බදු අති දුර්ලභ  වූ  ආර්ය මහා සංඝරත්නය උදෙසා, ඔබ අතට පත් වුණු ඔබේ භුක්තිය පිණිස ඔබට කැපකරගත් ඒ දන් පත "දායක පිණ්ඩපාත දානය" ලෙසින් අග්‍ර ශ්‍රේෂ්ට කොටස පූජා කොට ඒ උත්තම ගුණයට වන්දනාවන් සිදුකරගනිමින් දාන පාරමිතාවන් බලනංවා ගනිමින් එය පූර්ණය කරගැනීම උදෙසා ලැබෙන උත්කෘෂ්ට අවස්ථාවකි.

ඔබේ පිංකෙත අස්වද්දා ගැනීමට අද ඔබට අවස්තාව ලැබී ඇත. මේ එක්දහස් පන්සියයකට වැඩි බැතිමතුන් පිරිසක් සතිපතා සහසම්බන්ධ වී සකළ කෙලෙසුන් නැසූ උත්තරීතරත්වයට පත්වීම අරමුණුකොට සිදුකෙරෙන ප්‍රායෝගික වැඩමුළුවකි.  

--- වැඩි විස්තර දැන ගැනීමට පුන්‍යභාරය සමග සම්බන්ධ වන්න (077 333 6274 )  ---