දානමය පිංකම්

කල්ප ගණන් නිරා දුක් විඳිමින් පිනක් දහමක් කර කියා ගන්නට නොහැකි ව, දානයක් මානයක් පූජා කර ගන්නට නොහැකි ව කෙතරම් නම් කාලයක් අපි දුක් වින්දෙමු ද? එවන් වූ දුක්ඛිත බවින් අතමිදී ඔබත් මමත් අද මේ පා තබා තිබෙනුයේ, එදා තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ හුන් කාලය නැවත වතාවක් විදහා දක්වමින් සම්බුද්ධ ශාසනයත්, නිර්මල සද්ධර්මයත් ලෝකයට මතු වී තිබෙන ස්වර්ණමය යුගයක බව මනා කොට ප්‍රත්‍යක්ෂ වී හමාර ය.

දන් දෙන්න, සිල් ගන්න, ගුණ වඩමින් මෙත පතුරවන්න, හිතෙන හිතක් යනු, මෙලොව පවතින හිත්වලින් ඉතා දියුණු හිතකි. එසේ නම් එවන් වූ හැඟීම් ඇති හිත් සියයකට අධික වූ සංඛ්‍යාවක් පවතින අවස්ථාවක් යනු, මොනතරම් නම් ශ්‍රේෂ්ඨ අවස්ථාවක් වන්නේ ද? එවන් වූ ශ්‍රේෂ්ඨ ආර්ය උතුමන් වහන්සේලා ද, අනගාරික මහත්වරු, අනගාරිකා මහත්මීන් ද, ගුරු අඩි පාරේ අඩියට අඩිය තබා ගෙන මංමුලාවෙන් අත මිදෙන්නට මග නොවැටී රැකෙන්නට අධිෂ්ඨාන තබමින් මහත් වූ ශාන්ත ලීලාවෙන් ධර්ම ශාලා පරිශ්‍රයට වඩින දර්ශනය දුටු දහස් ගණනක් මිනිසුන්ගේ සිත් නෙත් තුටු කඳුලින් තෙමාලමින් සෑම දිනකම ජේතවනාරාම විහාරයේ දී සංඝගත දක්ෂිණාව පැවැත්වෙනු ලැබේ.

ආයු, වර්ණ, සැප, බල, පටිභාන ඥාන යන පංච ආනිසංසය ම හිතට කැන්දන මේ පුණ්‍ය මහෝත්සවයට සම්බන්ධ වීමට, දායකත්වය දැරිමට මෙන්ම නිර්මාණශීලි ලෙස පිං කරගැනීමට ද පින්වත් ඔබට අවස්ථාව සැලසෙනු ඇත.

එපමණක් නොව සම්බුද්ධ පූජාව පැවැත්විම, වීතරාගී වීතදෝෂි විතමෝහී ගුණ දරමින් පිණ්ඩපාතය සඳහා වඩින අර්යමහා සංඝ රත්නය විෂයෙහි දන් පැන් පූජා කිරීම, පාත්‍රා ධාතුන් පිරිසිදු කිරිම, අෂ්ට පරිෂ්කාර, සෙසු පරිෂ්කාර පූජාවන් සිදු කර නගා ගත් මහා පුණ්‍ය ශක්තිය අවසානයේ සංසාර ණය ගණුදෙණු පියවෙමින් ලෝක සත්වයාගේ යහපත පිණිස සිදු කෙරෙන බුක්තානුමෝදනා පුණ්‍යානුමෝදනා පිංකමට ද පින්වත් ඔබට අවස්ථාව සැළසෙනු ඇත.